මොනවද මේ CAM, DVDRip, BDRip, TS, SRC කියන්නේ ?
July 30, 2012 by: Lakshan Jayasinghe in: Tips & HowToචිත්‍රපට බලන්න අපි කවුරුත් කැමතියි. ඒ නිසාම අන්තර්ජාලය භාවිතා කරන අප බොහෝ දෙනා අප කැමති චිත්‍රපට සොයා බාගත කරගන්න උත්සුක වනවා. මෙයට පහසුම හා විශ්වාසදායීම ක්‍රමය නම් ටොරන්ට් හරහා අදාල චිත්‍රපටය බාගත කිරීමයි. කෙහෙන් චිත්‍රපටයක් ඩවුන්ලෝඩ් කළත් ඒ සම්බන්ධව නිතරම අහන්න දකින්න ලැබෙන වචන මාලාවක් තියනවා. ඒ තමයි CAM, DVD Rip, TS, SRC වැනි ඒවා. නමුත් ඔබ හරියාකාරවම මේ කෙටි යෙදුම් වල අර්ථයන් දන්නවාද ? නොදන්නවානම් ඊළඟ චිත්‍රපටය බාගත කිරීමට කලින් මෙය කියවන්න.

මේ කෙටි යෙදුම් වලින් චිත්‍රපටයේ ගුණාත්මක භාවය හඳුනා ගන්නට පුළුවන්. එමගින් අර්ථ ගන්වා තිබෙන්නේ ඔබ බාගත කිරීමට සූදානම් වන චිත්‍රපටයේ අදාළ පිටපත පිටපත් ගන්වා තිබෙන ආකාරයයි. බෝහෝ අවස්ථා වළදී මෙය නීති විරෝධී කටයුත්තක්. නමුත් චිත්‍රපට බැලීම සඳහා වූ ලාභදායීම ක්‍රමය එය වනවා.
CAM
අප පොදු වහරේදී කැමරා කොපි ලෙස හඳුන්වන්නේ මේ ඛාණ්ඩයේ චිත්‍රපට පිටපත්. බොහෝ අවස්ථා වලදී මෙවැනි පිටපත් සාදන්නේ චිත්‍රපට ශාලාවට වීඩියෝ කැමරාවක් ගෙන ගොස් චිත්‍රපට ශාලාවේ චිත්‍රපටය පෙන්වන තිරය රූගත කිරීමෙනුයි. සමහර අවස්ථා වල කුඩා තෙපා භාවිතා කොට තිබුණත් බොහෝ අවස්ථාවල තිරය චලනය වනු දැකිය හැකියි. එමෙන්ම රූගත කරන්නා වාඩිවන ස්ථානය අනුව තිරය පෙනෙන කෝණයද වෙනස් වනවා. තිරයේ ඇති අකුරු වැනි දෑ කියවීමට අපහසුයි. හඬ ලබා ගැනීම සඳහා කැමරාවේම ඇති මයික් එක භාවිතා කරනවා. කළාතුරකින් අවස්ථාවකදී හැරුණු කොට cam ගුණාත්මක භාවයෙන් ඉතාමත් පහළ මට්ටමකයි පවතින්නේ. චිත්‍රපටයක් නිකුත් වී සතියක් යාමට මත්තෙන් මේ වර්ගයට අයත් පිටපතක් බාගත හැකියි.
TELESYNC (TS)
මෙයත් බොහෝ දුරට cam වලම ගති ලක්ෂණ උසුලනවා. නමුත් මෙහි ඇති විශේෂත්වය වන්නේ හඬ ලබාගන්නේ කැමරාවේ ඇති මයික්‍රෝෆෝනයෙන් නොව පැහැදිළි හඬ පටයක් ජැක් එකක් මාර්ගයෙන් කැමරාවට සම්බන්ධ කිරීමෙන් වීමයි. විදේශීය සිනමා ශලා වල ඇසීම අඩු අයට ශ්‍රවණය කිරීම සඳහා තම ආසනයේ හෙඩ් ෆෝන් සවිකර තිබෙනවා. එම ජැක් භාවිතා කරමින් කැමරාවට හඬ ඇතුල් කිරීම සිදු වනවා. මේ නිසා cam වලදී මෙන් නොව TS වලදී හඬ පැහැදිළිව ඇසීමට පුළුවන්. පින්තූර වල ගුණාත්මක භාවය cam ආකාරයමයි.
TELECINE (TC)
TC ආකාරයට නිකුත්වන චිත්‍රපට පිටපත් අපට වැඩියෙන් දකින්න ලැබෙන්නේ නැහැ. සිනමා ශාලාවේ චිත්‍රපටය පෙන්වීම සඳහා භාවිතා කරන reels ඩිජිටල් පිටපත් බවට හරවා නිකුත් කරන පිටපත් TC ලෙස හඳුන්වනවා. මේ කාර්‍ය කිරීම සඳහා අවශ්‍ය උපකරණ හිඟ වීමත්, දුශ්කර භාවයත් නිසා බොහෝ අවස්ථා වල දැක ගැනීමට නොහැකියි. නමුත් හඬ සහ පින්තූර වල ගුණාත්මක භාවය ඉහල මට්ටමක පවතිනවා.
SCREENER (SCR)
චිත්‍රපටයක් නිකුත් වූ විට එහි පිටපත් preview එකක් ලෙස VHS ආකාරයෙන් විවිධ ස්ථාන වලට යැවෙනවා. මේ VHS ටේප් එකකින් ඩිජිටල් කරණය කරන ලද පිටපත් scr ලෙස හඳුන්වනවා. VHS එක අලුත් නම් පිටපත පැහැදිළි වනවා. නමුත් ප්‍රකාශන අයිතිය සඳහන් වැකි, කොපි කර ඇත්නම් දැනුම් දෙන්න යැයි පවසන වැකි ආදිය චිත්‍රපටය පුරාවට දර්ශනය විය හැකියි.
DVD-SCREENER (DVDscr)
SRC මෙන් නොව මෙය පෙර සඳහන් කළ පරිදි යවන DVD එකකින් උපුටා ගනු ලබනවා. නමුත් ප්‍රකාශන අයිතිය සඳහන් වැකි, කොපි කර ඇත්නම් දැනුම් දෙන්න යැයි පවසන වැකි ආදිය මෙහිදීත් චිත්‍රපටය පුරාවට දර්ශනය විය හැකියි.
DVDRip
ජනප්‍රියම පිටපත් ක්‍රමය යැයි කිවහොත් නිවැරදියි. චිත්‍රපටය සිනමා ශාලාවල ප්‍රදර්ශනය කොට අවසානයේ මිළ දී ගැනීම සඳහා නිකුත් කරන DVD තැටි වලින් මේ පිටපත් නිර්මාණය වනවා. හඬ මෙන්ම රූප වලද ගුණාත්මක භාවය ඉහලයි. නමුත් මෙහි ප්‍රධානම අවාසිය වන්නේ චිත්‍රපටය නිකුත්වී DVD නිකුත් වන තුරු විශාල කාලයක් බලා සිටීමමට සිදු වීමයි.
VHSRip
DVDRip ලෙස චිතපටය සිනමා ශාලාවල ප්‍රදර්ශනය කොට අවසානයේ මිළ දී ගැනීම සඳහා නිකුත් කරන VHS වලින් මේ පිටපත් නිර්මාණය වනවා.
BDRip
මිළදී ගැනීම සඳහා නිකුත් කළ BluRay තැටියකින් පිටපත් කරන ලද පිටපත් මෙළෙස හඳුන්වනවා. ගුණාත්මක භාවය DVDRip වලට වඩා ඉහලයි. (1080p හෝ 720p)
TVRip
රූපවාහිනියේ විකාශය වන අතරතුට ග්‍රහණය කරගන්නා ලද හෝ චන්ද්‍රිකා මගින් රූපවාහිනී නාලිකා වලට විකාශය වීමට නියමිත චිත්‍රපට එවමින් සිටිනා අතරතුර ග්‍රහණය කරගන්නා ලද පිටපත් මේ ලෙස හඳුන්වනවා. සමහ අවස්ථා වල තිත් වැනි දෑ දර්ශනය විය හැකියි.
HDRip
HD TV මාර්ගයෙන් පිටපත් කරගන්නා ලද සිනමා පිටපත් HDRip වනවා. TVRip වලට වඩා ගුණාත්මක භාවය ඉහළ වුනත් BDRip වලට වඩා අඩුයි.
DivX Re-Enc
චිත්‍රපටය DVD හෝ VCD තැටියකින් ලබාගෙන පමාණයෙන් කුඩා DivX ෆයිල් එකකට හරවා මේ පිටපත් නිම කරනවා. බොහෝ අවස්ථාඅ වල 350mb, 200mb ලෙස ප්‍රසිද්ධව ඇත්තේ මේවායි.
DivX / XviD
DivX හෝ Xvid ලෙස හඳුන්වන්නේ මෙතෙක් සඳහන් කළ පිටපත් වර්ගයක් නොව මහු මාධ්‍ය සඳහා වූ ෆයිල් ෆෝමැට් එකක්. මෙහි codecs වර්ග දෙකක් භාවිතා වනවා. ඒ low motion හා high motion වශයෙන්. දැන් බොහෝ විට යොදා ගැනෙන්නේ high motion codecs පමණයි.
XVCD/XSVCD
පෙර සඳහන් කළ ලෙසම මෙයත් ෆයිල් ෆෝමැට් එකක්. වඩා වැඩි තිර විභේධනයකින් යුත් වීඩියෝ සඳහා යොදා ගැනෙනවා.


